Pages

දේශීය ගත්කතුවරු


























ජී.බී සේනානායක

1913 ජූලි 10 වැනිදා කොළඹ මුල්ලේරියාවේදී ජී. බී සේනානායක මහතා උපත ලැබීය. දෙමාපියන් කුරුණෑගලින් කොළඹට සංක්‍රමණය වූ උදවියයි. ගුණතිලක බණ්ඩාර සේනානායක යනු උප්පැන්න සහතිකයේ සඳහන් නාමය විය.


                          ග්‍රෑන්ඩ්පාස් සාන්ත ජෝසප් පාසලින් මූලික අධ්‍යාපනය ලැබීය. අනතුරුව කණිෂ්ඨ පංතිය දක්වා කොළඹ ආනන්ද මහා විද්‍යාලයෙහි ඉගෙනුම ලැබ ආර්ථික දුෂ්කරතා නිසා පාසල් ගමන අත් හිටුවීය.වැඩිදුර අධ්‍යාපනය ලැබුයේ ස්වෝත්සාහයෙනි. ඔහු සිය වෘත්තීය ආරම්භ කළේ දිනමිණ පුවත්පතෙහි සංස්කාරක වරයෙකු වශයෙනි. පුවත්පත් කලාවේදියෙකු ලෙස සිංහල බෞද්ධයා පුවත්පතෙහිද සේවය කළේය. කෙටි කලකින් ඉන් ඉවත් වී අවිවාහකව දිවි ගෙවමින් පූර්ණ කාලීන ග්‍රන්ථ කර්තෘවරයෙකු ලෙස ලේඛන කලාවේ නිමග්න විය.

                      1945 දී මුල්ම කෘතිය වූ "දුප්පතුන් නැති ලෝකය" නම් කෙටි කතා සංග්‍රහය පළ කළේය. 1946 දී "පළිගැනීම"නැමති කෙටි කතා සංග්‍රහයට නිසදැස් කවි කිහිපයක්ද ඇතුළත් කරමින් නව කවි ආරක ප්‍රණේතෘවරයා බවට පත්විය. බොහෝ විචාරකයෝ නිසදැස් කවිය දේශීය සම්ප්‍රදායට පටහැනි සාහිත්‍යාංගයක් ලෙස සැළකූහ.ඇතැමෙක් එය අපරදිග සාහිත්‍යය අවිචාරවත්ව අනුකරණයෙන් සකස්කොට ගන්නා ලද රචනා විශේෂයක් ලෙස බැහැර කළහ. අනතුරුව වෙනත් කවීන්ද නිසදැස් ලිවීමට පෙළඹීමෙන් එය ජීවිතය හා සම්බන්ධ විවිධ අත්දැකීම් ප්‍රකාශ කිරීමට උචිත කාව්‍ය විලාසයක් බවට පත්විය.

                    අනතුරුව ලියා පළ කළ කෘති අතර "දැල් කවුළුව", "විඳිමි", "සෙවණැලි", යන කවි පොත්ද, "මේධා", "චාරුමුඛ", "වරදත්ත", "අවරගිර", "රළබිඳුම", "කැකෑරිල්ල", "මලපුඩුව", "ජලගැල්ම", "බැඳුම", "රුව", "උරගල", "මුදුපාණි", "කෙළෙස් සයුර", "එකට එක" යන නවකතා පොත්ද, "මිතුරිය", "ගමන", "ඈත බැලුම", "නැටුම" යන කෙටි කතා පොත්ද, "මල් කුමාරි", "රත් හඳුන් රූපය", "මහලෝබයා", "හාල්මැස්සා", "හීනය", "අඹ කතාව" යන ළමා පොත්ද, "නවකතා කලාව", "බටහිර ශ්‍රේෂ්ඨ නවකතා", "විචාර ප්‍රවේශය", "සාහිත්‍ය සේසත්", "සාහිත්‍ය විග්‍රහය", "සාහිත්‍ය ධර්මතාවය", "සාහිත්‍ය දර්ශන සිතුවිලි" යන විචාර පොත්ද, "රුබෙයියාට්, "රණරාළ" යන පරිවර්තනද, "විනිවිදිමි අඳුර", "මගේ සිතුම් පැතුම්", "මම එදා සහ අද" යන චරිතාපදාන ද වේ.

                    අවිවාහක ජීවිතයක් ගත කළ ජී.බී සේනානායකයන් ඔහුගේ මුළු ජීවිතයම සාහිත්‍ය කලාව වෙනුවෙන් කැප කළේය. අවසාන භාගයේදී අන්ධ වී සිටියදීත් ඔහු ග්‍රන්ථ කරණයෙහි යෙදුණි. 1985 මාර්තු 16 වැනිදා ඔහු කලුරිය කළේය.

සුගතපාල ද සිල්වා.

 1928 අගෝස්තු 04 වනදා වැලිගම මිදිගම දී සුගතපාල ද සිල්වා මහතා උපත ලැබීය. එතුමාගේ නිර්මාණ දායකත්වය උපරිම වශයෙන් ලැබුණේ ලංකාවේ වේදිකා නාට්‍ය කලාවට හා ගුවන් විදුලි නාට්‍ය කලාවටයි. ගුවන් විදුලි මාධ්‍ය සඳහා 'හඬ නළුව හෙවත් ගුවන් විදුලි නාට්‍ය' හා වේදිකා නාට්‍ය සඳහා 'සොඳුරු ආඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදක' කෘති දෙක තුළින් එතුමා තුළ මෙම මාධ්‍යයන් පිළිබඳව ඇති හසල දැනුම මනාව ප්‍රකට වේ. තවද මෙම ක්ෂේත්‍ර පිළිබඳව ලියැවී ඇති වටිනා ග්‍රන්ථ දෙකක් හැටියට මේවා හඳුන්වා දිය හැකිය.


                           සුගතපාලද සිල්වා මහතා ස්වභාවික නාට්‍ය කලාවේ දියුණුව සඳහා කළ මෙහෙවර ඉමහත්ය. ඔහු විසින් නාට්‍ය 16 ක් පමණ නිර්මාණය කර තිබේ. මෙම නාට්‍යයන්හි රචනය හා නිෂ්පාදනය යන කාර්යයන් මෙතුමා අතින්ම සිදු විය. එක වල්ලේ පොල් (1958), බෝඩිංකාරයෝ (1962), තට්ටු ගෙවල් (1964), හරිම බඩු හයක් (1965), හෙලේ නැග්ග ඩෝං පුතා (1966), නිල් කටරොල් මල් (1967), හිත හොඳ අම්මණ්ඩි (1969), දුන්න දුනු ගමුවේ (1972), මුතු කුමාරි (1973), තුරඟ සන්නිය (1975), නන්දි විසාල (1977), දෑ වැද්දෝ (1979), සත සහ සත (1980), ඇසළ සඳ අවන්හල (1981), මරාසාද් (1986), සාන්තුවර සෙබලාණෝ ඔහු ගේ නාට්‍යයන් වේ.

                        සාහිත්‍ය කරුවෙකු ලෙස සුගතපාල ද සිල්වා මහතා අතින් නව කතා දහයක් පමණ පාඨකයන් අතට පත් කොට තිබේ. ඒවා නම් බිත්ති හතර, අසුර නිකාය, ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ, 


ජී.එච් පෙරේරා

 1986 ජූලි 14 වැනිදා බස්නාහිර පළාතේ බොරලැස්ගමුවේ රත්නපිටියේදී ජී.එච් පෙරේරා මහතා උපත ලැබීය. උප්පැන්න සහතිකයේ සඳහන් සම්පූර්ණ නාමය ගල්හේනේ හෙන්ද්‍රික් පෙරේරා යනුවෙනි. මෙතුමා කොළඹ යුගයේ විසූ ප්‍රකට කවියෙකි. බොරලැස්ගමුවේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් අධ්‍යාපනය ලබා ගුරු වෘත්තියට පිවිස නිකපේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේද, ඌරුගල, උඩහමුල්ල, කිරුළපන, මාගල්කන්ද, තලංගම, මඩකුඹුර, බොලොස්සගම, කොල්ලුපිටිය, මුල්ලේගම, කෝට්ටේ, කළුබෝවිල යන ප්‍රදේශ වලද ගුරුවරයෙකු වශයෙන් හා ප්‍රධානාචාර්යවරයෙකු වශයෙන් පුරා දෙතිස් වසරක් සේවය කළේය.


                     කලක් ලංකා ජාතික ගුරු සංගමයෙහි සභාපති ධූරය දැරීය. පුවත්පත් වලට ඇතැම් ලිපි සම්පාදනය කරන ලද්දේ "පිංගලපුත්‍ර" "රාජමුරාරී" යන ආරූඪ නම් වලිනි.

                   ජී. එච් පෙරේරා මහතා හිටිවන කවි කීමෙහි දක්ෂයෙකි.ඔහු විසින් විවිධ මාතෘකා යටතේ ලියන ලද පද්‍ය නිර්මාණ "ස්වදේශ මිත්‍රයා" , "සිංහල ජාතිය" , "සරසවි සඳරැස" , "කවීන්දායා" , "සිංහල බෞද්ධයා" වැනි පුවත්පත් හා සඟරාවල පළ විය.

                 "බේබදු ගෙදර", "පරලොවට පණිවිඩයක්", "සූදු අන්තුවා" යන කවි පංති හා "වරකා මදුල" යන පද්‍ය සංග්‍රහය සමාජයේ ඇතැම් දුඹුල් තැන් වෙත එල්ල කරන ලද උපහාසය හා හාස්‍ය රසය මුසු නිර්මාණ ලෙස සැළකේ. එතුමා විසින් ලිටන ලද "බුද්ධස්තෝත්‍ර හෙවත් බුදුහාමුදුරුවෝ" නැමති භක්ති කාව්‍යය බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය. කවියෙකු වශයෙන් පමණක් නොව ප්‍රකට සාහිත්‍යධරයෙකු හා ප්‍රවීණ ගුරුවරයෙකු වූ ජී.එච් පෙරේරා මහතාගේ කාව්‍ය මගින් ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික ප්‍රබෝධය උදෙසා සැළසුණේ මහඟු සේවයකි. එතුමා විසින් ලක්දිව ඉතිහාසය හා සංස්කෘතිය අළලාලියන ලද ගද්‍ය කෘති කිහිපයක්ද වේ. "හෙළදිව අභිදානය" එවැන්නකි.

                 සොහිත්‍යයට මහඟු අත්වැලක් සැපයූ ජී. එච් පෙරේරා මහතා 1948 සැප්තැම්බර් 18 වැනිදා මෙලොවෙින් සමු ගත්තේය.





රැපියෙල් තෙන්නකෝන්

1890 දෙසැම්බර් 19 වන දින සීදූවට නුදුරු වලල්ලාවිටිගල්ලේ රැපියෙල් තෙන්නකෝන් මහතා උපත ලැබීය. ගුරු විදුහල්පතිවරයෙකු, ඉතිහාසඥයෙකු, ප්‍රවීණ ලේඛකයෙකු සහ කවියෙකු ලෙස සාහිත්‍ය ලෝකයෙහි මෙතුමා නමක් දිනාගෙන සිටී.


                      රද්දොළුව ගමේ පාසලින් අධ්‍යාපනය ලබා ගුරු වෘත්තියට පිවිස පසුව ස්වෝත්සාහයෙන්ම පෙර අපර දෙදිගම භාෂා කිහිපයක නිපුණත්වය ලැබූ එතුමාගේ විශේෂ විෂය වූයේ ඉතිහාසයයි. එහෙයින් එතුමා ලියූ හැම පොතකම සෑම නාට්‍යයකම මේ දැනුම ඉස්මතු වී පෙනේ. ගුරු ජීවිතයේදී ඇසුරු කරන්නට ලැබුණු කුමාරතුංග මුනිදාස මහතා නිසා සිංහල භාෂාව පිළිබඳව විශේෂ උනන්දුවක් ඇති වූයෙන් එතුමා හෙළ හවුලේ ආරම්භක සාමාජිකයෙකුව සිට පසුව එහි නායකත්වය දැරීය.

                      රැපියෙල් තෙන්නකෝන් මහතාගේ කෘතීන් තුළ කැපී පෙනෙන විශේෂ ලක්ෂණය වන්නේ උපහාස රසයයි. මුනිදාස කුමාරතුංග මහතා වෙතින් "කිවිසුරු"නම් සම්මානය ලද එතුමාගේ ප්‍රසිද්ධම කාව්‍ය වන්නේ  "වවුලුව" යි. ඊට අමතරව "හැවිල්ල", "දෑ විනය" , "පඬු ඇඹුල",  "සක් පුබුදුව", "රුප්පෙ අන්දරය", "මුළුතැන අන්දරය" , පද්‍ය 5302 කින් යුත් "ගමායණය" , පද්‍ය 2500කින් යුත් "සිංහල වංශය" ආදී නිර්මාණ රැසක්ම එතුමා විසින් කරන ලදී.   

                        කාව්‍ය නිර්මාණයෙහි මහත් දක්ෂතාවක් දැක් වූ එතුමා ගේ කවි තුළ එළිසමයට ගැති වීමක් හෝ විරිතට ගැති වීමක් දක්නට නැත.

                     ඔහුගේ ගද්‍ය නිර්මාණ අතර "කවුඩුව", "ගියකල" , "බස්පාර" යන කෘතිද, සාහිත්‍ය විවේචන අතර "අපේ කවි" හා "අපේ අසුන් කවි" ද වේ.  මීට අමතරව මෙතුමා අතින් ගුත්තිල කාව්‍යයටත් හංස, ගිරා, සැළලිහිණි ආදී සංදේශ වලටත් තවත් සම්භාව්‍ය  ග්‍රන්ථ වලටත් විවරණ සැපයිණි.

                   මොහුගේ නිර්මාණ අතරින් 1956 වසරේදී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් ලියූ "සිංහල වංශය" කාව්‍යය රාජ්‍ය සම්මාන හිමිකර ගත්තේය.





ටී.බී ඉලංගරත්න

  1913 දී මහනුවර, හතර ලියද්ද නැමති ගමෙහි ටී.බී ඉලංගරත්න මහතා උපත ලැබීය. පළමුව ගමේ පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ ඉලංගරත්න මහතා පසුව මහනුවර ශාන්ක අන්තෝනි විදුහලෙන් අධ්‍යාපනය ලැබුවේය. 


                        අධ්‍යාපනය හමාර වීමෙන් පසු ඔහු වෘත්තීය ජීවිතය ඇරඹුවේ සාමාන්‍ය ලිපිකරුවෙකු වශයෙනි. ඉන් අනතුරුව ලේඛකයෙකු, නාට්‍ය රචකයෙකු, නාට්‍ය නිෂ්පාදකයෙකු, චිත්‍රපට තිරනාටක රචකයෙකු නළුවකු වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම ශ්‍රේෂ්ඨ දෙශපාලනඥයෙකුගේද තත්වයට පත්විය.

                     ටී.බී ඉලංගරත්නයන් ලේඛන කලාව ඇරඹුවේ කවියෙකු හැටියටය. ඔහුගේ නිර්මාණ බොහොමයක තම ජීවිතය ජය ගන්නට දැරූ උත්සහයත් එහිදී තමන් ලද රසවත් හා කටුක අත්දැකීම් සම්භාරයත් විවිධ චරිත ඔස්සේ ඒවා තුළට පිවිස ඇති ආකාරය දැකිය හැකිය.

                    රාජ්‍ය සේවයෙන් නිදහස් වුණු ඉලංගරත්න මහතා ග්‍රන්ථකරණයෙහි වැඩි වශයෙන් යෙදෙන්නට විය. ඉලංගරත්නයන්ගේ "ඔංචිල්ලාව" නමින් කෙටි කතා සංග්‍රහයක් විය. පසුව "රඟමඩල" "ජාතක නාට්‍ය" හා "හඳහන" නමින් නාට්‍ය කෘති කිහිපයක්ද පළ විය. "විලම්බීත" ඔහුගේ ප්‍රථම නවකතාව විය. මේ කාලයේදීම චාල්ස් ඩික්සන්ගේ "ටේල් ඔෆ් ටු සිටීස්" නැමති සුප්‍රසිද්ධ නවකතාව "දෙනුවර කතාව" නමින් පරිවර්තනය කළ මොහු ලාංකීය පාඨකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් "අඹ යහළුවෝ" නවකතාවද රචනා කළේය.

                       ඉලංගරත්නයන්ගේ නවකතා අතුරින් " තිලක හා තිලකා" "මංගලා" හා "ලසඳා" සිනමාවට ලැබුණු කෘතීන් වේ.      





ආනන්ද රාජකරුණා

  1885 පෙබරවාරි මස 7 වන දින දකුණු පළාතේ අම්බලන්ගොඩ සමීපයේ පිහිටි මහදම්පේ නැමති ග්‍රාමයේදී ආනන්ද රාජකරුණා මහතා උපත ලැබීය. දෙමව්පියන් විසින් ඔහුට ඇල්ප්‍රඩ් යන නම තබන ලදී. මොහු අකුරළ ස්ව භාෂා පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනයද රන් දොඹේ ගල්පරේ සී. එම්.එස් විදුහලෙන් සහ කොස්ගොඩ පිහිටි රාජපක්ෂ විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂාවද ඉංග්‍රීසි සාහිත්‍යයද හැදෑරූ එතුමා පාසලේ අධ්‍යාපනය ලබමින් සිටියදීම සිංහල, පාලි සංස්කෘත භාෂාවන්ද උගත්තේය.


                            රාජකරුණා මහතා 16 වන වියේදී කාව්‍යකරණයට පිවිසියේය. මුල්ම කෘතිය "කවි රස අඳුන" යි. දෙවැන්න " රජ සිරිත් මාලය" නම් විය. ළමා ගී රචකයෙකු වන එතුමා විසින් රචිත ළමා පොත් සියල්ල ප්‍රකාශයට පත් වූයේ චිත්‍ර රූප සහිතවය.

                        ගුරු වෘත්තියට බැඳුණු එතුමා රන්දොඹේ වේස්ලි විදුහලේ ඉංග්‍රීසි හා සිංහල භාෂාවන් ඉගැන්වීමෙහි යෙදුණේය. පසුව එතුමා වැලිතොට අම්පේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවේ ප්‍රධානාචාර්ය ධූරය හෙබවීය.

                         1911 දී ගුරු වෘත්තියෙන් සමු ගත් ආනන්ද රාජකරුණා මහතා පත්‍ර කලාවට යොමු වී " සිංහල බෞද්ධයා" පුවත්පතේ කර්තෘ මණ්ඩලයට බැදුණේය. මෙතුමා "සිංහල ධ්වජය" , "සිංහල සමය" යන පුවත් පත් වලද කර්තෘ පදවිය දැරීය.

                      මෙතුමාට කාව්‍යකරණය වෙනුවෙන් "ශ්‍රී රූප දේව කවින්දා" යන සම්මානය හිමි විය. 1955 දී පැවිදි බිමට පත් වූ පසු ඔහු ආනන්ද ධම්ම යනුවෙන් හැඳින්විණි.

                     ආනන්ද ධම්ම හිමියෝ 1957 අගෝස්තු මස අපවත් වූහ.





සාගර පලන්සූරිය.



                           1910 දී රත්නපුරේට නුදුරු කළල් ඇල්ල නැමැති ගමෙහි සාගර පලන්සූරිය නෙහොත් කේයස් උපත ලැබීය.


                           ගමේ පාසලින් මූලික අධ්‍යාපනය ලබා පසුව කළල්ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදි බිමට පිවිසියේය. ඔහු වැදගත් ශාසනික හා සාමාජික සේවයක් ඉටු කළ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකි.

                          පසුව පැවිදි ජීවිතයෙන් ඉවත් වූ ඔහු විද්‍යෝදය පිරිවෙන, කොළඹ ආනන්ද විද්‍යාලය, නාලන්දා මහා විද්‍යාලය ආදී බෞද්ධ විද්‍යා පීඨයන්හි කලක් ඉගැන්වූ මෙතුමා ඉන්පසු පුහුණු ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙන් මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයේ සහ යාපනයේද සේවය කළේය.

                        මෙතුමා තුරුණු වියෙහි සිටම පුවත්පත් සඟරා ආදියටකවි හා ලිපි සැපයීය. කළල් ඇල්ලේ ආනන්ද සාගර නැමති නම සංක්ෂිප්ත කිරීමෙන් සකසා ගන්නා ලද " කේයස්" නමින් එතුමා දිවයිනේ කා අතරත් ප්‍රසිද්ධියට පත් විය. එතුමාගේ සුප්‍රකට කාව්‍ය කෘතිය " සුදෝ සුදු" බිහි වූයේ මේ අවදියේය. එතුමා අතින් ලියැවුණු කාව්‍යයන් අතර "මල් හාමි" , "කාලකන්නියා" , " කන්දේ ගෙදර" , " විසිවුණු තරු" ,  "කැළණි විත්ති" , "පිළිරුව" , " අපේ ඇත්තන්ගේ විත්ති", ආදිය වේ. එතුමාගේ කාව්‍ය නිර්මාණ කරණයේ ඇති සරල කම හා අව්‍යාජ බස් වහර තේරුම් ගැනීමට හොඳම උදාහරණය ලෙස පහත දැක්වෙන කවිය ඉදිරිපත් කළ හැකිය.

                      ගොඩ මඩ දෙකම සරු සාරය                 පලබරය
                      කටුරොද ගම්මාන තරමක                      පිටිසරය
                      ඒ ගම මැදින් ගලනා ගඟ                        මනහරය
                      කඩ මණ්ඩිය පිහිටියේ ගම                     කෙළවරය
                                                                                                 ( සුදෝ සුදු )

                     ප්‍රවීණ ලේඛකයෙකු, කවියෙකු, ව්‍යක්ත දේශකයෙකු වූ කේයස් මහතා වරක් හොරණ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්ද කටයුතු කළේය.

                   සාගර පලන්සූරිය මහතා 1961 ජුනි මස පරලෝ සැපත් විය.





මාර්ටින් වික්‍රමසිංහ මහතා


                             1890 මැයි මස 29 වන දින මාර්ටින් වික්‍රමසිංහ මහතා උපත ලැබීය. කොග්ගල, මලලගම ළමා හේවගේ දොන් බස්තියන් වික්‍රමසිංහ මොහුගේ පියා වන අතර මාගොල්ලෙ බලපිටියේ ලියනගේ නොච්චිහාමි මව වූවාය.

 
                             1895 දී අන්දිරිස් ගුරුන්නාන්සේගෙන් අකුරු ඉගනීම මුලින්ම කළ අතර 1897 දී ගමේ පන්සලෙන් ඉගනුම ලැබුවේය. ඉන්පසු ඔහු 1900 දී ගාල්ලේ බොනවිස්ටා පාසලට ඇතුල් විය. 1902 වන විට පියාගේ අභාවයත් සමඟ ආර්ථික අපහසුකම් වැඩි වීම නිසා පාසලෙන් අස් වී කොග්ගල වීරානන්ද හිමියන් වෙතින් සිංහල, පාලි සංස්කෘත ඉාගන ගත්තේය. මෙම කාලය තුළ දී " බාලෝපදේශය" නැමති එතුමාගේ පළමු ග්‍රන්ථය පළ කෙරිණි. 1904 දී නැවත අහංගම සිංහල පාසලට ගිය ඔහු 1906 දී නැවතත් පාසලින් අස් වී කොළඹ කරෝලිස් සිල්වා සාප්පුවේ ලියන්නෙකු ලෙස රැකියාව කළේය.

                 මාර්ටින් වික්‍රමසිංහයන් 1914 දී " ලීලා" නැමති නවකතාව ලියා ලේඛකයෙක් බවට පත් විය. මොහු ලක්මිණ, දිනමිණ හා සිළුමිණ පුවත්පත් වල කර්තෘ තනතුර හෙබවීය.

                   " මගේ කය වැඩුනේ අනෙක් සිංහල ගැමියෙකුගේ කය වැඩුනාක් මෙනි. සිත වැඩුනේ වෙනස් විදියකිනි. උසස් විදුහලකින් හෝ පඬිවරයෙකුගෙන් හෝ පිළිවෙලින් උගැන්මක් නොලත් මා දැනුම ලැබුයේ අත්දැකීමෙන් හා ආසාවෙන් පොත් කියවීමෙනි."

                 " උපන්දා සිට" කෘතියෙහි මාර්ටින් වික්‍රමසිංහ මහතා තම අධ්‍යාපනය පිළිබඳ සටහන් කොට ඇත්තේ එලෙසිනි.සැබවින්ම හරි හැටි පාසල් අධ්‍යාපනයක් නොලත් වික්‍රමසිංහ මහතා ඉහලම බුද්ධි තලය දක්වා වර්ධනය වූයේ පොතින් පතින් හා ජීවිත තක්ෂලාවෙන් අහුලා ගත් දැනුමෙනි.

                වික්‍රමසිංහයන්ගේ සාහිත්‍ය සේවාව නවකතා, කෙටි කතා, විද්‍යාත්මක කතා, සතුන් පිළිබඳ අධ්‍යාපනය, විචාරය ආදී විවිධ තලයන් ඔස්සේ විහිදී යයි. එහෙත් ඔහු වඩා ප්‍රකට වූයේ නවකතා කරුවකු ලෙසයි. සිංහල නවකතා ඉතිහාසයේ වැදගත්ම ලේඛකයා ලෙස මාර්ටින් වික්‍රමසිංහ මහතා හැඳින්වේ. මොහු එසේ හඳුන්වන්නට හේතු වූයේ 1944 දී පල වූ "ගම්පෙරළිය" නව කතාව තුළින් මෙරට එතෙක් තිබූ නවකතා සාහිත්‍යය වෙනස් මගකට යොමු කිරීම නිසාය.

                නව කතාවක අඩංගු විය යුතු කලාත්මක අංගයන්ද, සාර්ථක චරිත නිරූපනයන්ද, පුළුල් සමාජ දෘෂ්ටියක් සහ යථාර්තවාදී රීතියක්ද ගම්පෙරළිය නවකතාව තුළ දක්නට ලැබුණි. ඉන්පසුව තුන් ඈදුතු නවකතාව සම්පූර්ණ කරමින් "යුගාන්තය" සහ " කලියුගය" බිහි විය.

                  1956 දී පළ කරන ලද "විරාගය" නවකතාව වික්‍රමසිංහයන්ගේ කලාත්මක නවකතාව හැටියට විචාරකයන්ගේත් රසියන්ගේත් ප්‍රශංසාවට පාත්‍ර විය.

                   මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් ළමා කෘති හතරක්ද, ජීව විද්‍යා කෘති හයක්ද, අතිරේක කියවීම් පොත් හතරක්ද, නවකතා දාහතරක්ද, කෙටි කතා එකොළහක්ද, නාට්‍ය හතරක්ද, " තේරී ගී" නමින් පද්‍ය කාව්‍යයක්ද, විචාර ග්‍රන්ථ විසි තුනක්ද, ආදී වශයෙන් ග්‍රන්ථ රාශියක් මෙරට සාහිත්‍යය පෝෂණය කිරීමෙහිලා දායාද කර තිබේ.

                 වික්‍රමසිංහ මහතා "සාහිත්‍ය චක්‍රවර්තී" සම්මානය හා " ජනාධිපති සාහිත්‍ය සම්මානය" හිමි කර ගත්තේය. එයට අමතරව බ්‍රිතාන්‍ය O.B.E සම්මානයද ලැබුණි.

                මහා ගත් කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් 1976 ජූලි මස අභාවප්‍රාප්ත විය.



කුමාරතුංග මුනිදාස


                         1887 ජූලි 25 වැනිදා දකුණු පළාතේ මාතර, දික්වැල්ලේදී කුමාරතුංග මුනිදාස මහතා උපත ලැබීය. පළන්වින්නේගේ මුනිදාස කුමාරතුංග යන උප්පැන්න සහතික නාමය පසු කාලයේදී කුමාරතුංග මුනිදාස, කුමාරණතුංග, කුමරතුඟු මුනිදස් ආදී වශයෙන් වරින් වර වෙනස් විය. දැනට කුමාරතුංග මුනිදාස විදුහල නමින් හැඳින්වෙන මොග්ගලී පුත්ත තිස්ස විදුහලේ ඉගනීමෙන් අනතුරුව කොළඹ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ ද්වි භාෂා අංශයෙන් පුහුණුවක් ලැබීය.


                       මෙතුමා ග්‍රන්ථ කරණයට පිවිසියේ 1917 දී පළ කළ "සාමාන්‍ය දැනීම ප්‍රශ්න" නම් කුඩා පොතිනි.

                       පසුව පැරණි පොත් වලට ලියූ විවරණ ග්‍රන්ථ 37ක්ද අලුතින් නිපැයූ පොත් 38 ක්ද සංස්කරණයන් 26 ක්ද ඉංග්‍රීසි බසින් කළ හේළියෝ සඟරාවද ඇතුලුව කෘති 102 ක් දායාද කළහ.

                     "හා හා හරි හාවා" , "තොටිල්ල සැම සුව පිරී - පැද්දෙයි තාලෙට සරී" , " ගස වතුසුදු - වී පිරිසිඳු - පොහොය නැතිඳු සිල් ගත් බඳු" මෙවැනි ළමා ගීත තුළින් ළමයාට සුන්දර ලොවක් බිහි කර දී තිබේ. මෙතෙක් කුමාරතුංග මහතාගේ නිර්මාණ අභිබවා යාමට සමත් ළමා නිර්මාණ බිහිවී නැත.

                    එතුමා " ඉදිරියටම යව් හෙළයිනි ඉදිරියටමැ යව්" ආදී වශයෙන් දේශය පිළිබඳ අභිමානයක් ගෙන දෙන ගීත ලාංකික ගී සාහිත්‍යයට එකතු කර තිබේ.

                    1939 දී ඇරඹි " සුබස" සඟරාව තුළින්ද කුමාරතුංග මහතා භාෂා පෙරලියකට මග හෙළි කළේය. එතුලින් සමකාලීන භාෂා ගැටළු විසදීමට මගපෙන්වීමක්ද කළේය.

                  සාහිත්‍ය විවාද රාශියකට සහභාගී වූ එතුමා "කුකවි වාදය" නැමති වාදයෙන් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ විශාල ප්‍රබෝධයක් ඇති කළේය.

                   සංස්කරණය කොට විවරණ සහිතව පළ කරන්නට යෙදුණු ග්‍රන්ථ සංඛ්‍යාව 25 කට අධිකය. අලුතින් ලියන ලද ගද්‍ය පද්‍ය කෘති සංඛ්‍යාවද 30 කට අධික වේ. ඒවා නම් ශික්ෂාවතාරය, ශික්ෂාමාර්ගය (කාණ්ඩ 05කි). කුමරගී, සංස්කෘත ශික්ෂා මාර්ගය, හත්පණ, මඟුල් කෑම, හීන් සැරය, සුර කුමරිය, ශික්ෂා රත්නාකරය, ක්‍රියා විවරණය, ප්‍රබන්ධෝපදේශය, ප්‍රබන්ධ සංග්‍රහය, කවි ශික්ෂාව, අකුරු සැහැල්ල, පිය සමර,කුමාර පද්‍ය සංග්‍රහය, කුමාර ව්‍යාකරණය, කියවන නුවණ (කාණ්ඩ 05කි.) ඉබේ සකුව, නිකම් හැකියාව, ව්‍යාකරණ විවරණය, හෙළ මියැසිය යනාදියයි.

                        අභාවයෙන් මතු මුද්‍රණයෙන් පළ වූ ගද්‍ය පද්‍ය නිර්මාණ සහ ලිපි ලේඛන ද රාශියකි. කුමාරතුංගයන්ගේ සියලු පද්‍ය රචනා එක්තැන් කළ කෘතියක වෙළුම් දෙකක් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් 1970 දී සහ 1992 දී පළ කරන ලදී. එය 'කුමරතුඟු පැදි එකතුව' නම් වේ.

                   කුමාරතුංග මහතා සිංහල භාෂාව වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කළේය. එතුමන් විසින් අපට දෙන ලද භාෂාමය සාහිත්‍යයමය හා ජාතික ආගමික දායාදයන් නිසා අපි තවමත් සිංහලයන් ලෙස සිටින්නෙමු.

                   කුමාරතුංග මුනිදාසයන් රෝගාතූරව සිට 1944 මාර්තු 02 වැනිදා පානදුරේ පල්ලිමුල්ලේදී මිය ගියේය.  




ඩබ්ලිව්. ඒ සිල්වා


ක්‍රි.ව 1890 ජනවාරි මස කොළඹ වැල්ලවත්තේදී ඩබ්ලිව් ඒ සිල්වා මහතා උපත ලැබීය. වැල්ලවත්ත ආරච්චිගේ හරමානිස් සිල්වා මහතා ඔහුගේ පියා වූ අතර බෝමිරියේ කර්ලැයින් ගෝමිස් මහත්මිය මව වූවාය.


                           ඩබ්ලිව්. ඒ සිල්වා මහතාගේ ප්‍රථම " "සිරියලතා" නමින් 1909 වර්ෂයේදී පළ විය.එම කෘතිය පළ කරන විට සිල්වා මහතා 17 වැනි වියෙහි පසු විය. මීලගට ඔහු අතින් නිර්මාණය වූයේ " ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිණිය" යන නව කතාවයි. මොහුගේ නව කතා ආයාසයකින් තොරව ඉතා සැහැල්ලුවෙන් කියවීමට හැකි ඒවාය. මේ හේතුව නිසාම එකල පාඨක ජනතාව මොහුගේ කෘති කියවීමට මහත් අභිරුචියක් දැක්වූහ.

                       මුල් නවකතා කරුවන්ගේ නවකතා වල මෙන් ජාතික හැඟීම ආගමික හැඟීම් ඇතුළත් නොකළ ඔහු පාඨකයාගේ රසාස්වාදය සඳහා කතා ප්‍රවෘත්තිය පමණක් ලිව්වේය. මේ නිසා සැහැල්ලුවෙන් නවකතාවක් කියවා අවසන් කිරීමට හැකි වීමෙන් පාඨකයාගේ කියවීමේ උනන්දුවද වැඩි දියුණු විය. මෙම කතා තුළට ප්‍රේමය, ත්‍රාසය හා අද්භූත සිද්ධීන් ඇතුළත් වී තිබූ නිසා පාඨකයා තව තවත් ඒ කෙරෙහි ආකර්ෂණීය විය. මොහුගේ කතා වල ද සුදනන් හා දුදනන් වශයෙන් සුදු කලු චරිත පැහැදිලි ලෙස වෙන් කර තිබේ. දුෂ්ටයා පරාජය කොට ධර්මිෂ්ටයා ජය ගැනීමත් දුෂ්ටයාට නිසි දඩුවම් ලබා දීමත් මොහුගේ රටාව විය. මීට අමතරව ගැඹුරු ජීවිත විවරණයක් මෙහි දක්නට නොලැබේ.

                     ඩබ්ලිව්. ඒ සිල්වා මහතාගේ ජනප්‍රියම නව කතාව වූයේ "හිඟන කොල්ලා" යි. මෙය  අතිශයින් ජනප්‍රිය වූයේ රහස් ක්‍රම, රහස් ලියුම්, වෙඩි තැබීම්, කාන්තාවන් පැහැරගෙන යෑම් ආදිය අන්තර්ගත වී තිබූ නිසාය.

                    1933 දී පළ වූ " කැළෑ හඳ" නවකතාවද හිඟන කොල්ලා තරම්ම පාඨකයන් අතර ජනප්‍රිය විය. "සුනෙත්‍රා හෙවත් අවිචාර සමය" ,  " විජයබා කොල්ලය" , " රදල පිලිරුව" නවකතා තුළින්,අතීතය පිළිබඳ හැඟීමක් පාඨකයා තුළ දැනවීමට ඩබ්ලිව්. ඒ සිලවා මහතා උත්සාහ කර තිබේ. මොහු " ලේන්සුව" , "සක්විති රජ" , "අමෘත හස්තය" හා " දළ කුමාරි" යන කෙටි කතාද නිර්මාණය කර තිබේ.

                  සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමෙහිලා මහඟු සේවයක් ඉටු කළ ඩබ්ලිව්. ඒ සිල්වා 1957 මැයි මස පරලෝ සැපත් විය. 





පියදාස සිරිසේන.

පියදාස සිරිසේන මහතා 1875 අගෝස්තු 31 වනදා බෙන්තර වලල්ලාවිට කෝරලයේ ඉඳුරුවේ, අතුරු වැල්ලේදී උපත ලැබීය. වරාහේනේ ස්වභාෂා පාසලින් මූලික අධ්‍යාපනය ලත් මොහු බෙන්තර ලන්සි පල්ලිය පාසලින් හා අලුත්ගම බ්‍රෝහියර් මහතාගේ පාසලින්ද වැඩිදුර අධ්‍යාපනය ලැබුවේය.


                    1895 දී කොළඹට පැමිණ පියදාස සිරිසේන මහතා " සිතුමිණ" සඟරාවේ උප කතුවරයා ලෙස පුවත්පත් කලාව ඇරඹුවේය. පසුව " සිංහල ජාතිය" නමින් ඔහුම ආරම්භ කළ සඟරාව සතිපතා පුවත් පතක් බවට පත් විය. එකල මෙම පුවත්පත බෞද්ධ ජනතාවගේ මහත් ප්‍රසාදයට ලක් වූවකි.

                     1915 දී ඇති වූ සිංහල මුස්ලිම් කෝලහාලයත් සමඟ රට පුරා යුද නීතිය පැනවිණ. ඩී. එස්.සේනානායක,  එෆ්. ආර් සේනානායක,  සී. ඒ. හේවාවිතාරණ වැනි ජාතික නායකයින් සමඟ පියදාස සිරිසේන මහතාද සිරභාරයට ගැනිණ.සිරගෙයින් නිදහස් වූ පසුව පියදාස සිරිසේන මහතා පෙරටත් වඩා උද්යෝගයෙන් ජාතික මෙහෙවරෙහි යෙදුණේය.

                   ඔහුගේ නව කතා කලාව ගොඩ නැගුණේද ජාතික හැඟීම් උද්දීපනය කිරීම මුල්කොටගෙනය.

                  * වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින්  ( 1906 )

                  * අපට වෙච්ච දේ

                  * තරුණිකගේ ප්‍රේමය
                
                  * සුචරිතාදර්ශය

                  * අන්තිම කැමැත්ත

                  * පසන් නිවස

                  * මහා වියවුල

                  * යන්තම් ගැලවුණා

                  * චින්තා මාණික්‍ය රත්නය

                  * අත්භූත ආගන්තුකයා

                  * පරිවර්තනය

                  * අෂ්ටලෝක ධර්ම චක්‍රය

                  * ඩිංගිරි මැණිකා හෙවත් වික්‍රමපාලගේ පළමුවැනි වික්‍රමය

                  * විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය

                  * වලව්වක පලහිලව්ව

                  * ඉෂ්ට දෙවියා

                  * මහේෂ්වරී

      මොහු විසින් රචිතය.
                   මෙම නව කතා තුළ සුදන චරිත සහ දුදන චරිත දක්නට ලැබේ. සෑමවිටම සුදන චරිත ජයග්‍රහණය කරන අතර දුදන චරිත පරාජයට පත් වේ.

                    මුළු ජීවිත කාලයම රට දැය වෙනුවෙන් කැප කළ පියදාස සිරිසේන මහතා 1946 මැයි මස 22 වනදා මිය ගියේය.






ආනන්ද කුමාරස්වාමි


 1877  අගෝස්තු 22 දින කොළඹ කොල්ලුපිටියේදී මොහු උපත ලැබීය. මොහුගේ පියා ශ්‍රීමත් මුතු කුමාරස්වාමිය. ඔහුගේ මව එළිසබෙත් ක්ලේ බිබී නම් ඉංග්‍රීසි ජාතික කාන්තාවකි. වයස අවුරුදු 12 දී අධ්‍යාපනය සඳහා එංගලන්තයට ගිය ආනන්ද කුමාරස්වාමි නැවත ලංකාවට පැමිණියේ අවුරුදු 26 දී පමණය.
ලංකාවට පැමිණි පසු ඔහු රජයේ ඛනිජ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වරයා ලෙස කටයුතු කළේය. ඛනිජ සම්පත් සොයමින් ලංකාව පුරා ගිය ගමනේදී පුරා විද්‍යාව, සිතුවම් කලාව, උඩරට කලා ශිල්ප, ආගම්, සමාජ විද්‍යාව, සිතුවම් කලාව ආදිය පිළිබඳව මනා හැදෑරීමක් ආනන්ද කුමාරස්වාමි විසින් සිදු කරන ලදී. මෙම කරුණු අධ්‍යයනය තුළින් " මධ්‍ය කාලීන සිංහල කලා" කෘතිය බිහි විය. මෙම කෘතිය සඳහා ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ඔහුට පිරිනැමිණි.

                          මොහු විසින් 1918 දී ලියා පළ කරන ලද " මධ්‍ය කාලීන සිංහල කලා" කෘතිය ශ්‍රී ලංකාව තුළ තවමත් මාහැඟි කෘතියක් ලෙස භාවිතයට ගැනේ. අනතුරුව ඔහු විසින් කෘති ගණනාවක් පළ කරන ලදී. 

                    * රාජ පුත්‍ර චිත්‍ර  ( 1916)
                    
                    * බුදුන් හා බුදු සසුන  ( 1916 )

                    * ඉන්දියානු හා ඉන්දුනීසියානු කලා ඉතිහාසය  ( 1927 )

                    * ශිව නැටුම  ( 1918 )

                    * විශ්ව කර්ම  ( 1914 )

                     * හින්දු ධර්මය හා බුද්ධ ධර්මය  (1945 )

                ආනන්ද කුමාරස්වාමි මහතා ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, ලතින්, ග්‍රීක්, සංස්කෘත, පාලි යන භාෂා පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබූ අතර දෙමළ, සිංහල, හින්දි, පර්සියානු, ඉතාලි, ස්පාඤ්ඤ සහ ඕලන්ද යන භාෂා පිළිබඳ සාමාන්‍ය දැනුමක් ලබා තිබුණි.

                      ආනන්ද කුමාරස්වාමි මහතා ආගම් පිළිබඳ මනාව හැදෑරූ අයෙකි. එහෙත් ඉන් එක ආගමකටවත් විශේෂත්වයකින් සැළකුවේ නැත. පන්සල් පල්ලි ආදියෙහි බාහිර වත් පිළිවෙත් කෙරෙහි ඔහු කිසිඳු සැළකිල්ලක් නොදැක්වීය.

                       ආනන්ද කුමාරස්වාමි මහතා 1947 සැප්තැම්බර් මස 09 වන දින බොස්ටන් නුවරට නුදුරුව පිහිටි කුඩා ගමකදී අභාවප්‍රාප්ත විය.


වැලිවිට සරණංකර සංඝරාජ හිමි.


  ක්‍රි.ව 1698 දී මෙලොව එළිය දුටු පුත් කුමරෙකි. හේ කුලතුංග බණ්ඩා නම් විය. ඔහු වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ්‍ය සමයේදී වැලිවිට සරණංකර හිමි නමින් පැවදි දිවියට ඇතුළු විය. සරණංකර හිමි ලංකාවේ පහළ වන විට ලංකා භික්ෂු ශාසනය අතීශයෙන්ම දුක්ඛදායක තත්වයට පත්ව පිරිහී තිබුණි. එම තත්වයෙන් ගොඩ ගන්නට ප්‍රබලව දායක වූයේ සරණංකර හිමියන්ය.


                          නොයෙකුත් පොත් පත් කියවා ස්වෝත්සාහයෙන්ම උගත් සරණංකර හිමියෝ අධ්‍යාපනය පතුරුවාලීම සඳහා ග්‍රන්ථ සම්පාදනය කරන්නට පටන් ගත්හ. භාෂා හයක් පිළිබඳ මනා දැනුමකින් හෙබි සරණංකර හිමියෝ ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් බිහි කළහ.

                       * මුනි ගුණ අලංකාරය
                       * සාරාර්ථ සංග්‍රහය
                       * අභිසම්බෝධි අලංකාරය
                       * රත්න ප්‍රණාම ගාථා සන්නය
                       * හෙසප්ජ මඤ්ජුසා සන්නය
                       * සාරාර්ථ දීපනිය හෙවත් සතර බණ වර සන්නය
                       * මහා බෝධී වංශ සන්නය

                 මෙසේ ලංකාවේ සාහිත්‍යය හා බෞද්ධ පරිසරය තුළ නැණ පහන් දැල්වීමට මුළු දිවියම කැප කළ සරණංකර සංඝරාජ හිමියෝ ක්‍රි.ව 1778 දී අපවත් වූහ. 



තේරවිලි

  කඩෙන් ගත්තොත් භාණ්ඩයක්     දියෙන් ගත්තොත් මාංශයක්                 -  ඉබ් බා     කන්නෙත් නෑ බොන්නෙත් නෑ ගෙදර දොරේ බුදි                     ...